මාර්ගගත පන්තිකාමර තුළ පහසුවෙන් ශිෂ්‍ය ඇගයීම් (student assessments) කළහැකි ක්‍රම (පළමු කොටස)




තම ශිෂ්‍යයින් ඉගෙන ගන්නේ මොනවාද යන්න සොයා බැලීම ගුරුවරයෙක්ගේ ඉගැන්වීමේ ක්‍රියාවලියේ අතවශ්‍යය සාධකයකි. මාර්ගගත (online) පන්තිකාමර තුළ ඉගැන්වීමේදී ශිෂ්‍ය දැනුම මැනීම සදහා ගුරුවරුන් විසින් භාවිතා කරන ක්‍රම පිළිබද මේ ලිපියෙන් සකච්ඡා කෙරේ.

මුද්‍රණය කළ කඩදාසි කොලේ, පෑනෙන් ලියු පිළිතුරු පරික්ෂා කිරීම යල්පැන ගිය කාර්යයක් වී හමාරයි. තම්බ්ස්-අප්/තම්බ්ස්-ඩවුන්, මාර්ගගත සමීක්ෂණ (online polls), සාකච්ඡා පුවරු (discussion boards) සහ චැට් අවකාශ (chat boxes) යනාදී මාර්ගගත සන්නිවේදන ක්‍රම නවතම මිනුම් දඩු ලෙස භාවිත කරමින් ශිෂ්‍යයින් ඇගයීමට වර්තමාන ගුරු පරපුරට සිදු වී ඇත.

විෂයක් ඉගැන්වීමේදී ශිෂ්‍යයින් හට ලබා දෙන හදිසි ප්‍රශ්නාවලි තුලින් එම විෂය ඔවුනට කෙතරම් දුරට අවබෝධ වී ඇත්දැයි පරික්ෂා කළ හැක. සිසුන් තුල ඇති ඒ අවබෝධයට අනුකුලව තම ඉගැන්වීමේ ක්‍රම වෙනස් කරමින් උගන්වන ගුරුවරුන් යහපත්, සාර්ථක ගුරුවරුන් ලෙස හැදින්විය හැක.

මුහුණට-මුහුණ පන්ති කාමර වල සිට මාර්ගගත පන්ති කාමර වලට මාරු වීමේදී සිසුන් පරික්ෂා කිරීම අපහසු කාර්යයක් සේ හැගිම සාමාන්‍යයි. මෙම අපහසුතාවය මගහරවා ගැනීමට ගුරුවරුන් සම්පුර්ණයෙන්ම වෙනස් ක්‍රම අනුගමනය කිරීම අවශ්‍ය නොවුවත්, ගුරුවරුන් තම ඉගැන්වීමේ සහ ඇගයීමේ ක්‍රම වැඩිදියුණු කිරීම තුලින් වඩාත් සාර්ථක ප්‍රථිපල ලබා ගත හැකි වේ. වෙනදා මෙන් පන්ති කාමරය වටේ ගොස් සිසුන්ගේ ක්‍රියාකාරකම් පරික්ෂා කිරීම කළ නොහැකි බැවින් ඒ වෙනුවෙන් වෙනත් ක්‍රම භාවිතය අනිවාර්යය වේ.

තනිව මාර්ගගත පන්ති (individual online classes) පැවැත්වීම තුලින් ශිෂ්‍යයාගේ අවබෝධය පිළිබද අදහසක් ගත හැකි මුත් කණ්ඩායම් මාර්ගගත පන්ති (group online classes) පැවැත්වීමේදී සිසුන් ඇගයීමේ ක්‍රියාවලිය සදහා වෙනත් ක්‍රම භාවිත කිරීම ඉතා වැදගත් වේ.

1. DIPSTICKS

ඩිප්ස්ටික් යනුවෙන් හදුන්වන්නේ වාහනයක තෙල් ප්‍රමාණය මැනීමට භාවිත කරනා කූරටයි. වාහනයක තෙල් මනිනවා සේ, සිසුන් මැනීම සදහා ඉක්මන් හා කෙටි ක්‍රම භාවිතය තුලින් ඔවුන් හරි දිශානතියකට යොමු වන්නේද යන්න පරික්ෂා කිරීම ඉතා පහසුවෙන් කළ හැකි අතර මෙමගින් සිසුන්ගේ අධ්‍යාපනික මට්ටම පමණක් නොව මානසික මට්ටම පිළිබදවද අවබෝධයක් ලබාගත හැක.

මාර්ගගත පන්තියක් ආරම්භයේදී පෙර දිනයේ ඉගැන්වූ පාඩම පිළිබද සිසුන්ගේ අවබෝධය පරික්ෂා කිරීමට "ඊයේ ඉගැන්වූ [හිස්තැන් පුරවන්න] පාඩම ගැන හැමෝටම හොද අවබෝධයක් තියෙනවද?" යන ප්‍රශ්නය සිසුන් හමුවේ තැබීමෙන්, ඔවුන්ගේ චැට් අවකාශයේ ඉමොජි (emoji) භාවිතයෙන් (තම්බ්ස්-අප්/තම්බ්ස්-ඩවුන් යනාදී ලෙස) පිළිතුරු සැපයීමට අවස්ථාවක් ලැබෙන අතර ඒ අනුව ඔවුන්ගේ අවබෝධය පිළිබද නිර්ණයකට එළබීමට උපකාරී වේ. මෙම ප්‍රශ්න සියල්ල බරපතල, පාඩමට අදාල ප්‍රශ්නම විය යුතු නැත. පාඩමක් ආරම්භ කිරීමට පෙර හාස්‍යොත්පාදක ප්‍රශ්නයක් ඇසීමෙන් එම පාඩම වෙනුවෙන් ශිෂ්‍ය අවධානය වැඩියෙන් ලබාගැනීමට එය බෙහෙවින් උපකාරී වනු ඇත.

උදාහරණ වශයෙන් "තක්කාලි යනු එලවළුවක්ද පළතුරක්ද?" යනාදී වශයෙන් නගන පැනයකට, සිසුන්ගෙන් ඉතා උද්යෝගිමත් ප්‍රතිචාර ලැබෙනු ඇති. ඒ තුලින් ඇතිවන උද්යෝගය මාර්ගගත පන්තියේ ඉදිරි වැඩ කරගෙන යාමට මහත් රුකලක් වනු ඇත.

මෙහි තවත් දිගුවක් ලෙස පෙර ඉගැන්වූ පාඩම් වලට අදාලව ඔවුන්ගේ අවබෝධය එකේ සිට පහ (1-5) දක්වා වූ පරිණාමයක (scale) ලකුණු කිරීමට සැලැස්වීමෙන් ද සිසුන්ගේ මට්ටම බලාගත හැක. මේ සදහා tutoo.lk වැනි නොමිලේ සැපයෙන සේවාවන් භාවිත කළ හැක. තවද මාර්ගගත ක්‍රමයට ඉගැන්වීමේදී සිසුන්ගේ මට්ටම බලා ගැනීමට කොළ, කහ, රතු යන පැහැයෙන් යුත් සටහන් පත්‍රිකා (sticky notes) පෙන්විමට අවකාශ සලසා දීමෙන්  සිසුන්ගේ මට්ටම අවබෝධ කරගත හැකිවේ. 1) කොළ පැහැය-මට පාඩම පැහැදිලියි, එනිසා ඊළග පාඩමට යමු, 2) කහ පැහැය- මම තවම අධ්‍යනය කරමින් පවතින මුත් හෙමිට ඉදිරියට යමු, 3) රතු පැහැය-මට තේරුම් ගැනීමට අපහසුයි, යනාදී ලෙස මෙම වර්ණ වලට අර්ථ නිරුපන භාවිත කරමින් සිසුන් හට සන්නිවේදනය කිරීමට අවස්ථාව සලසා දීම තුලින්ද ඉතා කාර්යක්ෂම ඉගැන්වීමේ ක්‍රියාවලියක් පවත්වාගත හැකිවේ.

2. ශිෂ්‍ය කෙටි සටහන්

සියලුම ශිෂ්‍යයින් එක ලෙස තොරතුරු අවධාරණය කර නොගනී. එනිසා DIPSTICKS (තෙල් කූර) ක්‍රමය භාවිතයේදී සියලුම ශිෂ්‍යයින් එක ලෙස ප්‍රතිචාර නොදක්වනු ඇති. මෙයට පිලියමක් සේ සරල ගෙදර වැඩ පැවරීම තුලින් ඒ ඒ ශිෂ්‍යයින්ගේ ධාරණය පිළිබද අවබෝධයක් ලබා ගත හැක.

මේ සදහා මාර්ගගත අවකාශයක් භාවිතයෙන් (google documents හෝ ඒ හා සමාන ඇප්) සිසුන් ඉගෙනගත් පාඩම් වෙනුවෙන් කෙටි සටහන් ඔවුන්ගේම ශෛලියකට ඉදිරිපත් කිරීමට සැලැස්වීම තුලින් ඒ පාඩම පිළිබද ශිෂ්‍යයින් තුල අවබෝධය ලබා ගත හැක. 

මේ කෙටි සටහන් 3-2-1 යන සංකල්පයට අනුවද සිසුන්ගෙන් ලබාගත හැක. ඔබ ඉගෙන ගත් දෑ තුනක්, ඔබේ සිත් ඇදගත් දෑ දෙකක්, ඔබට තේරුම්ගත නොහැකි දෑ එකක් යනාදි වශයෙන් ඒ සංකල්පය විස්තර කෙරේ. පාඩමක් අවසානයේදී සිසුන් විසින් මෙම ප්‍රශ්නාවලියට ලබාදෙන පිළිතුරු අධ්‍යනයේදී ඒ ඒ පාඩම් පිළිබද ඔවුන් තුළ ඇති අවබෝධය මනාව වටහා ගත හැක.

මිට අමතරව ඒ ඒ පාඩම් වෙනුවෙන් ශිෂ්‍යාටම අවේණික වූ ක්‍රමයකට වුවද කෙටි සටහන් සැකසීම කළ හැක. එක් පාඩමක් වෙනුවෙන් එක් පිටුවක් ලෙස ලෙස එම කෙටි සටහන් සැකසිය හැකි අතර අන්තර්ජාලය ඔස්සේ ඒවා  නිතිපතා ලබාගැනීමෙන් ඒ ඒ ශිෂ්‍යාගේ පාඩම් වෙනුවෙන් ඇති අවබෝධය බලාගත හැක. මෙම කෙටි සටහන් සිසුන්ගේ නිර්මාණශිලිත්වය මත වෙනස් විය හැකි අතර ඒ කෙසේ වෙතත් අරමුණ විය යුත්තේ පාඩම් පිළිබද ඔවුන්ගේ අවබෝධය පරික්ෂා කිරීමයි.

3. සාරාංශකරණය

පාඩමක ඇති වැදගත් කරුණු ශිෂ්‍යා තුළට කා වැද්දීමට සහ සිසුන්ගේ අවබෝධ පරික්ෂාවට, සජීවී මාර්ගගත පාඩම් අතර තුරදී මිනිත්තු කීපයක් වැය කර එතෙක් ඉගැන්වූ කරුණු සාරාංශගත කිරීමට සැලස්විමද ඉතා සාර්ථක ක්‍රමයකි. මෙම සාරාංශ සටහන් සෘජුව ගුගල් කොලයක (google docs) සටහන් කිරීම හෝ චැට් අවකාශයක සටහන් කිරීම හෝ සිදු කල හැක. 

මෙම සටහන් අතුරින් හොදම සටහන් තෝරා ට්වීට් (Tweet) හෝ ඉන්ස්ටග්‍රෑම් (Instagram) ආකාරයෙන්ද සමාජ මාධ්‍ය හරහා බෙදාහැරිය හැක.

~ තවත් ක්‍රම ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.

Comments

Popular posts from this blog

ශිෂ්‍යයින් ඇගයීම (student assessments) වැදගත් වන්නේ ඇයි?

අඩු කාලයක් තුල ශිෂ්‍ය ඇගයීම් කරන්නේ කෙසේද?